Sunday, September 9, 2012

රටේ ප්‍රීතිමත්ම මිනිසාගේ කමීසය

මම පොඩි නිවාඩුවකට ගෙවල් පැත්තෙ ගියා පහුගිය දවස් වල. ගෙදර ගියාම ඉතින් කරන්නේ පරණ යාළුවො එක්ක එක එක විකාර කියව කියව ඉන්න එකයි ඇවිදින එකයි තමයි. ඉතින් එක වෙලාවක කට්ටිය ඕපදුප කතා කර කර ඉද්දි එක පාරටම කතාව වෙනස් වුනා. දැන් කට්ටිය කතා කරන්නේ දේශපාලනය, ආගම, ජාතිවාදය, කාන්තාව වගේ ප්‍රබුද්ධ  මාතෘකා ගැන. අපරාදේ කියන්න බැහැ කට්ටිය නියම පඬිවරයෝ ටික :-p. ඔය අතරේ අපි තවත් මාතෘකාවකට අවතීර්ණ වුනා. ඒ තමයි "මුදල්".



ඇත්තට  කතාකරන්නම වටින මාතෘකාව. ඒ කතාකරපු දේවල් එක්ක මට හොඳ පරණ කතාවක් මතක් වුනා. ඉතින් ඒ කතාව බ්ලොග් එකේ ලියන්න ඕනි කියල හිතුණා. මේ කතාව මට කවුරු කියලා දුන්නු එකක්ද කියලා මට හරියට මතක නැහැ. කතාව විතරක් යාන්තමට මතකයි. මේ වගේම ඉතාලි කතාවක් තියෙනවා The happy man's shirt කියලා. සමහරවිට මේක ඒ කතාවේ සිංහල version එක වෙන්න පුළුවන්. අර හුණුවටේ කතාව වගේ එකම කතාව තැන් දෙකක තියෙන්න පුළුවන්නෙ. කොහොම උනත් මේක අහන්න වටිනා කතාවක්.

ඔන්න එකමත් එක රටක ඉන්නවා බොහොම දැහැමි රජ කෙනෙක්. එතුමා බොහොම හොදින් රට පාලනය කරමින් බොහොම හොදින් කල්ගෙවනවා. එත් අවාසනාවන්ත විදියට මේ රට දුර්භීක්ෂයකට ගොදුරුවෙනවා. වතුර නැතිව ගොවිතැන් විනාශ වෙනවා. රටේ ජනතාවට කන්න බොන්න නැතිව මියයනවා. මේ නිසා රට ඇතුලේ හොරකම්, මැරකම්, මිනීමැරුම් වැඩි වෙලා. රටවැසියෝ ඔක්කොම ඉතාම දුකින් කල්ගෙවනවා. එත් රජතුමාට කරන්න කිසි දෙයක් ඉතිරි වෙලා නැහැ.



අන්තිමට රජතුමා තීරණය කරනවා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින්වත් යමක් කරන්න බලන්න. රජතුමා රටේ ඉන්න ඉහලම ජෝතිශ්‍යවේදීන්, මන්ත්‍රකරුවන් ගෙන්නලා කරන්න පුළුවන් දෙයක්  ගැන සාකච්චා කරනවා. ඒත් ඒ ඔක්කොම කියන්නේ තමන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ කියල තමයි. ඒත් එක මන්ත්‍රකරුවෙක් ඉදිරිපත් වෙනවා ප්‍රශ්නය විසඳන්න. රජතුමාට හරිම සතුටුයි. රජතුමා ඇමති මණ්ඩලයට නියෝග කරනවා මන්ත්‍රකරුට ඔහුගේ රාජකාරියට අවශ්‍ය සියල්ල වහාම ලබාදෙන්න කියලා. ඒත් ඔහු ඉල්ලන්නේ එකම එක දෙයයි. ඒ තමයි මේ රටේ ප්‍රීතියෙන්ම ඉන්න පුද්ගලයගේ කමීසය. රජතුමා වහාම සේවකයන්ට අණකරනවා රටේ එහා කෙලවරින් හෝ කමක් නැහැ වහාම ගිහිල්ලා රටේ ප්‍රීතිමත්ම පුද්ගලයගේ කමීසය අරන් එන්න කියලා.



සේවකයෝ  මුලින්ම පටන් ගන්නේ රජතුමාගෙන්මයි. "රජතුමනි, ඔබතුමා මේ රටේ නායකයා. ඔබතුමාට හැම සැපතක්ම තියෙනවා. ඒ නිසා ඔබතුමා නේද රටේ ඉන්න ප්‍රීතිමත්ම මිනිසා?" රජතුමා පිළිතුරු දෙනවා මෙන්න මෙහෙම "මේ දුර්භීක්ෂයෙන් රටවැසියෝ මැරෙනවා. රටේ අපරාධ වැඩි වෙලා. රටම ගිනි ගොඩක් වෙලා. ඉතින් මම කොහොමද සතුටින් ඉන්නේ?" ඊට පස්සේ දැන් ඉතින් සේවකයෝ රටපුරා ඇවිදිමින් රටේ ඉන්න ප්‍රීතිමත්ම මිනිසා සොයනවා. ඔවුන් යනවා රටේ ඉන්න වෙළෙන්දු, ඇමතිවරු, ප්‍රභූවරු ලඟට. ඔවුන් කවුරුත් කියන්නේ මෙන්න මෙහෙමයි "අපිට හරියට ප්‍රශ්න. වෙළඳාම් ප්‍රශ්න, පරිපාලන ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, තව තව ගොඩක් ප්‍රශ්න. අපි වෙන්න බැහැ මේ රටේ සතුටින්ම ඉන්න මිනිස්සු." ඊට පස්සේ සේවකයෝ යන්නේ රටේ සාමාන්‍ය පුරවැසියෝ ගාවට. ඔවුන් කියන්නේ මෙහෙමයි "අපට මේ දවස් වල හරියට කන්න අඳින්න නැහැ. අපේ දරුවෝ බඩගින්නේ අඬනවා. සමහරු කන්න නැතිව මැරෙනවා. අපි කොහොමද සතුටින් ඉන්නේ?" කොයි තරම් හෙව්වත් සේවකයන්ට සතුටින් ඉන්න කෙනෙක් මේ අය අතරින් හොයාගන්න වෙන්නේ නැහැ. මින් පස්සේ සේවකයෝ යන්නේ රටේ ඉන්න හාමුදුරුවරු, පූජකවරු, තාපසවරු වගේ අය ලඟට. එහෙම යන සේවකයෝ මෙන්න මෙහෙම හිතනවා "ඒ අයගෙන් කෙනෙක් සතුටින් හිටියොත් අපිට පුළුවන් වෙයි ඒ අයගෙන් කමීසයක් නැතත් සිවුරක්වත් ඉල්ලගන්න. එහෙම නැත්නම් ඒ අය ගිහිගෙයි ඇඳපු කමීසයක්වත් හොයාගන්න." ඒත් මේ පූජකවරු කියන්නේ මොකක්ද? ඒ අය කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. "උපාසක ඇත්තන්ටවත් දැන් කන්න නැහැ. ඉතින් අපිට දානයක්වත් ලැබෙන්නේ නැහැ. අනික අපේ හිත්වල කොයිම වෙලාවකවත් සතුටක්වත් දුකක්වත් නැහැ." කරන්නම දෙයක් නැති තැන සේවකයෝ යනවා රටේ ඉන්න හිඟන්නු, වහල්ලු වගේ අය මුණගැහෙන්න. ඒත් එකෙනුත් වැඩක් වෙන්නේ නැහැ. ඒ මිනිස්සු කවදාවත් සතුටින් හිටිය මිනිස්සු නෙමෙයි. බලාපොරොත්තු සුන්වුන හිත්වලින් අයෙත් සේවකයෝ රජවාසලට යනවා. ඔහොම යද්දී ඔවුන්ට ඇහෙනවා ඈතින් කවුරු හරි කෙනෙක් ගීතයක් ගයනවා. ඉතින් ඔවුන් හිතනවා "මෙච්චර දුර්භීක්ෂයක් මැද ගී කියමින් විනෝද වෙන පුද්ගලයා නම් සතුටින් සිටින අයෙක වෙන්න ඕන." ඔවුන් යනවා ගීතය ඇහෙන පැත්තට. පුංචිම පුංචි කටු මැටි ගහපු පැලක පිල උඩට වෙලා ටිකක් වයසට ගිය, ඉනට විතරක් සරම් මාල්ලක් ඇඳගෙන බොහොම සරලව ඉන්න කෙනෙක් තමයි මේ ඈත බලාගෙන ගී කියන්නේ. සේවකයෝ ඔහුගෙන් අහනවා "ඔබ සතුටින්ද ඉන්නේ?" ඔහු සිනහවක් සමග පිළිතුරු දෙනවා. "ඔව්. මම සතුටින් ඉන්නේ." දැන් සේවකයන්ට පුදුමයි. ඔවුන් අහනවා ඔබට මේ දුර්භීක්ෂ සමයේ කන්න බොන්න තියෙනවද? ඔබේ දරුවන් පෝෂණය කරන්න ඔබට මුදල් තියෙනවද?" නැවතත් ඔහු සිනාසී මෙහෙම කියනවා "මම ලැබුනොත් කනවා බොනවා. නැත්නම් නිකන් ඉන්නවා. මට කාත් කවුරුවත් නැහැ." කොහොම උනත් දැන් සේවකයන්ට හරිම සතුටුයි. දැන් ඉතිරිවෙලා තියෙන්නේ කමීසයක් ඉල්ලගන්න විතරයි.



ඔවුන් අහනවා "එහෙනම් අපිට ඔබේ කමීසයක් දෙන්න පුලුවන්ද?" ඔහු එකවරම පිළිතුරු දෙන්නේ "අනේ මට කමීසයක් නම් දෙන්න විදියක් නැහැ" කියලයි. සේවකයන්ට හරිම කේන්තියි. "මේක රාජ අණක්. ඔබ නොදුන්නොත් අපට ඔබේ කමීසය බලෙන් ලබාගන්න සිද්ධ වෙනවා". අර මහලු පුද්ගලයා ඉතා බැගෑපත්ව මෙහෙම කියනවා "අනේ ඔබතුමාලට දෙන්න මට කමීසයක් නැහැ". සේවකයෝ පුදුම වෙනවා "ඔබ කියන්නේ මේ දුර්භීක්ෂ සමයේ ගී කියමින් සතුටින් ඉන්න ඔබට අඳින්න කමීසයක් නැහැ කියලද?". "අනේ ඔව් ඇත්තමයි මම මේ කියන්නේ. මට කමීසයක් නැහැ. මම කවදාවත් කමීසයක් ඇඳලා නැහැ." අන්තිමට සේවකයෝ ගිහින් රජතුමාට මෙන්න මෙහෙම කියනවා. "රජතුමණි, මේ රටේ සතුටින්ම සිටින පුද්ගලයාට කමීසයක් නැහැ."




ප.ලි.  මම මේ ලිපියෙන් යමක් කියන්න උත්සහ කළා. තේරුනාද නැද්ද කියලා නම් දන්නේ තම තමුන්ම තමයි. ලිපියෙන් ගැන ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා :))

Monday, August 27, 2012

ඔහුට වැටහුණු, ඔබටත් මටත් තවමත් නොවැටහුණ යමක්...

මට මේ ලිපිය ලියන්න හිතුනේ ඉතාම අර්ථවත් නිර්මාණයක් විසින් මගේ හිතට තදින්ම කාවද්දපු සිතිවිල්ලක් නිසයි. ඒ ගැන හිතන්න හැමෝගෙම හිත් වලටත් ඉඩක් හදා දෙන්න හිතපු නිසා මම ඒ ගැන මගේ බ්ලොග් එකේ ලියන්න හිතුවා.

මහගම සේකර කියන්නේ අපේ රටේ එතෙක් මෙතෙක් බිහිවුන විශිෂ්ටතම නිර්මාණකරුවෙක්. ඔහු කවියෙක්, නවකතාකරුවෙක්, ගීත රචකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීනයෙක්. ඔහු අතින් නිමවුන නිර්මාණ අතරින් මම දකින විදියට වටිනාම නිර්මාණය තමයි 'ප්‍රබුද්ධ' කෘතිය. මම ටිකක් පොඩි කාලේ මට 'ප්‍රබුද්ධ' පොත කියවන්න අවස්තාව ලැබුණා. එත් ඒ පොතේ තියෙන ගොඩක් දේවල් තේරුම ගන්න තරම් මගේ මොලේ ඒ කාලේ මෝරලා තිබ්බේ නැහැ. එත් ඒ සමහර දේවල් මගේ මතකයේ තදින්ම තැන්පත් වුනා. පස්සේ කාලෙක ආයෙත් 'ප්‍රබුද්ධ' කියවද්දී තමයි ඒ පොතේ තිබුණු ගැඹුර තේරෙන්නේ. උඩින් බැලුවට නොතේරෙන, එත් ගොඩක් කල්පනා කරමින් කියවද්දී තේරෙන ලොකු සත්‍යයක් ඒ පොතේ තියෙන බව පැහැදිලි දෙයක්.



ඒ පොතේ එන මම ආසම කරන පුංචි අවස්ථාවක් ගැන තමයි මට මෙහෙම ලියන්න හිතුනේ. මේ සිද්දිය වෙන්නේ ප්‍රබුද්ධ දුම්රියෙන් යන අතරතුර. දුප්පත් පුංචි දැරිවියක් දුම්රියේ නැටුමක් ඉදිරිපත් කරලා ඉන්න මගීන්ගෙන් සල්ලි ඉල්ලගෙන එක එක්කෙනා වෙත එනවා. ඔන්න ඔය අවස්ථාවේ වෙන සිද්දියක් තමයි මෙන්න මෙහෙම ලියල තියෙන්නේ.

ගැහැණු පිරිමි ඇතැමෙක් 
ලතුනා වයසට පත්
නැටුම් බලා ප්‍රීතිවෙත්...
ගැනබලා සතයක් දෙකක්
ගෙන ටින් කබලට දමත්
පතා දෙව් මිනිස් සැප
කෙලවර මොක සැපත්...

ටින් පියන ගෙන අතකින්
හති දම දමා ආ කල
නිමා කොට තම නැටුම
ඒ දැරිය,

අනාගතයෙහි දිනෙක
අඳුරු මං වීදි වල සරන්නට වරම් ලද....

තැබී ඔහු සුදු මහත රුපියලේ කාසියක්
ඒ මතෙහි,
බලා ඇත්දැයි කිසිවෙකු
බලා වට පිට සැකයෙන්
බලා සිටියොත් කිසිවෙකු
උන් සිතන්නට පුළුවන
“රුපියලක්ම දුන් මේකා පිස්සෙක්මය”

රුපියලක්ම ලැබුණු හෙයින්
ඒ දැරිය ප්‍රීතියෙන් ඉපිලෙතැයි
විස්මපත් වනු ඇතැයි
සිතූමුත් ඔහු,
ගියා ඈ ඉවතට
ඊළඟ මගියා වෙතට
කිසිවක් නොදත් විලසට

නොසතුටක් පහලවිය ඔහු සිතෙහි
ඉන්පසුව ගැටළුවක් පහලවිය ඔහු සිතෙහි


ඇයි මා ඈගෙන් පැතුවේ
මන පිනවන ප්‍රතික්‍රියාවක් ?
දුන්නේ රුපියලක්ම මම
'මම' සතුටු කරන්නද ?
ඇය සතුටු කරන්නද ?






මම තවත් කිසිවක් කිව යුතුද? මා කීමට උත්සහ ගන්නා, මා ඔබට සිතීමට බලකරනා දෙය ඔබට දැනටම වැටහෙනවා නේද? මම ඔබට කියන්නට උත්සහ කරන්නේ කාලයකට පෙර ඔහුට වැටහුණ, එත් තවමත් ඔබටත් මටත් නොවැටහෙන යමක් තියෙනවා කියන දෙය විතරයි. මිරිඟුවක් ලුහුබඳිමින් කාර්යබහුල කරගත් අපි හුගක් අයගේ ජීවිත වලින් විනාඩි කිහිපයක් කැපකර හොදින් සිතන්න. ඔබ යමක කිසිවෙකුට දෙන්නේ ඔහු/ඇය සතුටු කිරීමටද? නැතිනම් 'ඔබ' සතුටු කිරීමටද? එහෙමත් නැතිනම් ඒ දෙය බලා සිටින්නන් පුදුම කරවීමටද?සිතීම ඔබට බාරයි.



ප.ලි.
මේ ලිපිය කිසි වැඩකට නැති නිකම්ම නිකන් ලිපියක් කියලා හිතෙනවා නම් ඒ ගැනත් ලියලා යන්න අමතක කරන්න එපා. මේ නිර්මාණය මමත් ගොඩක් හිතන්න පොලඹවපු නිර්මාණයක් නිසාත්, මේක අපි හැමෝටම පොදු සිතිවිල්ලක් කියලා විශ්වාස කරන නිසාත් මේ ලිපිය ලියන්න හිතුනා. කොහොම උනත් බලන හැමෝගෙම ප්‍රතිචාර මම ගොඩක් අගය කරනවා. :) මගේ ලඟ තියෙන පොතේ අපැහැදිලි තැන් ගොඩක් තිබුණු නිසා වචන වල පොඩි වෙනසක් තියෙනවා නම් සමාවෙන්න.

Thursday, August 16, 2012

අපිත් කන්නන්ගර පුත්තු තමයි...


 මේ කතාව ලියන්න හිතුනේ මේ ලඟදි මට මූණ දෙන්න උණු සිද්දියක් නිසයි. ඇත්තටම ඒක මට ගොඩක් හිතට වැදුණු සිද්දියක් නිසයි මේක බ්ලොග් එකේ ලියන්න ඕනි කියල හිතුවේ. මම දැන් සතියකට විතර කලින් ගෙදර ඉඳලා වැඩට යන අතරමග බස් එකේදී උණු දෙයක් තමයි මේ. මම වාඩි වෙලා ගියේ බස් එකේ පිටිපස්සෙම තියෙන සීට් එකේ. ඔන්න මහරගමට විතර යනකොට එකපාරට බස් එකේ ඉස්සරහින් කවුරු හරි කතාවක් පවත්වන සද්දයක් ආවා. මමත් පොඩ්ඩක් උනන්දුවෙන් අහගෙන හිටියා මෙයා මොනවද කියන්නේ කියලා. මට පොඩි වෙලාවක් යද්දීම තේරුනා මෙයත් මම වගේම කැම්පස් කොල්ලෙක් කියලා.



හැබැයි මට මෙයාගේ මූණ නම් හරියට පෙන්නේ නැහැ මොකද බස් එකේ ටිකක් සෙනග හිටියා. කොහොමහරි මේ මල්ලි කතා කලේ අද රටේ තියෙන තත්වය ගැනයි (මම මෙයාට මල්ලි කියන්නේ පස්සේ මම මෙයාව දැක්කම මට තේරුනා මෙයා පොඩි මල්ලි කෙනෙක් කියලා)  අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. කැම්පස් වහල මාස දෙකකටත් වැඩියි. එන්න එන්නම රටේ අධ්‍යාපනය  පිරිහෙනවා. පාසල් බලාගෙන ඉද්දි වැහෙනවා. අපි නොදන්නවා උනාට ගම වල තියෙන පුංචි පුංචි පාසල් වැහිලා යන තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. ඇත්තටම මේ මල්ලිට හොදට කතා කරන්න පුළුවන්. මෙයා කියන්න තියෙන ටික බොහොම ලස්සනට කිව්වා. ඉක්මනට සරලව කාටත් තේරෙන්න කිව්වා. මේ තත්ත්වය වෙනස් කරන්න අපි හැමෝම එකතු වෙන්න ඕනි කියලත් මේ මල්ලි කිව්වා. පුද්ගලික විශ්ව විද්‍යාල අවුල ගැනත් මේ මල්ලි කතා කළා. මමත් ඉතින් හොඳ අවදානයෙන් මේ කතාව අහගෙන හිටියා.



දැන්  ඔන්න නුගේගොඩ කිට්ටුවටම අවා. දැන් මට මේ මල්ලිව හොදට පේනවා. මෙයා එක්ක තව නංගි කෙනෙකුත් හිටියා. මට තේරුණ විදියට නම් මෙයාල දෙන්නම එක කැම්පස් එකේ මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි. අන්තිමට මේ මල්ලි කිව්වා 15 වෙනිදා විහාර මහා දෙවි එළිමහන් රංග පීටයේදී ආචාර්යවරුන්, සිසුන්, අම්මලා, තාත්තලා හැමෝම එකතු වෙනවා කියලත් පුළුවන් හැමෝම එදාට එන්න කියලත්. මේ මල්ලිගේ කතාව අහගෙන ඉඳලා මමත් හිතින් හිතුවා ඇත්තටම මෙහෙම ගියොත් අපේ රටට මොකද වෙන්නේ කියලා. ඔය අතරේ මේ මල්ලිලා ස්ටිකර් එකක් විකුනනවා. ඒක රුපියල් 20ක් වෙනවා කියලයි කිව්වේ. ඔන්න දෙන්නා ස්ටිකර් ටික විකුණන ගමන් ටිකෙන් ටික පස්සට එනවා. මමත් ළඟ තිබුණු රුපියල් පනහක් අරගත්තා. ඔන්න දැන් දෙන්නා මගේ කිට්ටුවට අවා. මම රුපියල් 50 දුන්නා. අර මල්ලි මට ස්ටිකර් ඒක දීලා ඉතිරි දෙන්න හදද්දී මම කිව්වා "කමක් නැහැ මල්ලි ඕක තියාගන්න" කියලා. මම ඒ මල්ලිගෙන් ඇහුවා මල්ලි මොන කැම්පස් එකේද කියලා. අහ් ඒ මල්ලි කැලණිය කැම්පස් එකේ. එයා මගෙන් ඇහුවා "අයියත් කැම්පස් එකකද? මොකේද? " කියලා. මම "කිව්වා මම මොරටුවේ මල්ලි" කියල. මිනිහා එකපාරටම මගෙන් ඇහුවා Engineering Faculty එකේද කියලා. මම ඉතින් ඔව් මල්ලි කියලා කිව්වා. ඊට පස්සේ මිනිහා නිකන් කින්ඩියට වගේ කට කොනෙන් හිනාවක් දාල අර ආපු නංගි දිහාත් බලලා නෝන්ඩි හිනාවක් දාල දෙන්නම ඊළඟ හෝල්ට් එකෙන් බැහැලා ගියා. 



මමත් ඉතින් හිතින් පොඩි හිනාවක් දාලා නිකන් හිටියා. මොකද මම Engineering Faculty කියපු ගමන් මිනිහා කින්ඩි හිනාවක් දැම්මේ කියල මම හොදටම දන්නවා. අපේ ෆැකල්ටි එකේ දේශපාලනය කොහෙත්ම නැහැ. ඇත්තටම මම ඒ ගැන සතුටු වෙනවා. අපට අපේ මතය දරන්න අපේ කැම්පස් එකේ ලොකු ඉඩක් තියෙනවා. බල අහේනියෙන් අසරණයට පත්වුන දේශපාලන පක්ෂ වලට තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න අපිව කඩේ යවන්න බැරි උනත්, මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය පිටිපස්සෙන් අපේ ෆැකල්ටි එක හැමදාමත් ඉන්නවා. අසරණ දරුවෝ ඉන්න පුංචි ඉස්කෝලයක් වැහෙද්දී, අපි ඉගෙන ගන්න කැම්පස් ඒක වැහිලා යද්දී ඔය කොයි කාට නොදැනුනත් අපිට ඒ වේදනාව දැනෙනවා. මොකද අපිත් ගම් වලින් ගොඩක් අමාරුවෙන්, අඩු පහසුකම් මැද ඉගෙනගෙන ආපු අය තමයි. කොටින්ම කියනවා නම් කන්නන්ගරයන්ගේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න තමයි අපිත් කැම්පස් ආවේ. අර මල්ලි මගේ දිහා බැලුවේ අපි නිකන් කිසි කමකට නැති අලයෝ ටිකක් ගානට දාලයි. සමහරවිට ඒ මල්ලිට තේරෙන්නේ නැතුව ඇති ඒ මල්ලිලාගෙම අසරණ හිත් වල තියෙන අසහනය තවත් දේශපාලන පක්ෂයක්ම විසින් බිල්ලට දෙනවා කියලා. ශිෂ්‍ය අයිතිවාසිකම් දිනාගන්න ඔය පාරේ ගිහින් අමාරුයි මල්ලි. අපි කොහෙන් කොහොම ගියත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයව තාමත් මේ රටේ ඉන්න වැඩි දෙනාට පෙන්නේ රතු පාටටයි.



අපිව එහෙම රට්ටුන්ට පේන කල් දේශපාලන නායකයින්ට තමන්ගේ අඩු පාඩු අපේ පිටින් දාලා හරි අගේට හිනා වේවි ඉන්න පුළුවන් වේවි. ඒක තමයි මල්ලි අපි කාටත් මුල ඉඳලම වැරදුන තැන. දේශපාලකයින්ගේ අසාදාරනකම් වලට එරෙහිව කතාකරන්න, ඒවාට එරෙහිව නැගීහිටින්න අපේ පිටිපස්සෙන් තවත් දේශපාලකයන් පිරිසක් තියාගෙන බැහැ මල්ලි. මොකද ඔය දෙගොල්ලන්ගේ වෙනස තියෙන්නේ පාටෙත්, බලය ඇති හෝ නැති යන එකෙත් විතරයි. අපිට අපේ පිටිපස්සෙන් සමාගම්, පක්ෂ, බල මණ්ඩල ඕන නැහැ. හැමදාම විශ්ව විද්‍යාල ශිෂ්‍යයා ඉල්ලුවේ තමන්ට නිදහසේ ඉගෙන ගැනීමට ඇති අයිතිය විතරයිදේශපාලන බලයක් නෙමෙයි. කැම්පස් වලට, ෆැකල්ටි වලට, පක්ෂ වලට, සන්දාන වලට, ගැටි වලට බෙදිලා මේ ප්‍රශ්නයට විසදුම් හොයන්න අපිට බැහැ. ලංකාවේ ශිෂ්‍යයෝ ඔක්කොම් එකට එකතු වුන දවසට අපි ඉල්ලන්න දෙයක් නැහැ. පාලකයන්ටම ඒ දේවල් ලබාදෙන්න සිද්ද වේවි. අපේ රටේ කැම්පස් වල ඉන්න ඔක්කොම ශිෂ්‍යයෝ එකයි. මොකද අපි හැමෝම කන්නන්ගර දරුවෝ. අපි හැමෝම එකයි. අපි හැමෝම ඉල්ලන්නේ නිදහසේ ඉගෙන ගන්න තියෙන අයිතිය විතරයි. අධ්‍යාපනයට නිසි තැන දෙන්න කියන දේ විතරයි. නැතුව පාලකයෝ ගෙදර යවන්නවත් බලයේ ඉන්න පක්ෂ මාරු කරන්නවත් අපිට උවමනාවක් තියෙනවද? අන්තිමට මට කියන්න තියෙන්නේ මොන කැම්පස් එකේ හිටියත්, මොන ෆැකල්ටියේ හිටියත් අපිත් කන්නන්ගර පුත්තු තමයි.  අපේ ඇඟේ තියෙන්නෙත් කන්නන්ගර ලේ තමයි මල්ලි.

C. W. W. කන්නන්ගර මහතා

ප. ලි. : මම මේකේ ලියලා තියෙන්නේ සියයට සියයක්ම මගේ පුද්ගලික මතය විතරයි කියලත් නොකියම බැහැ.

Friday, August 10, 2012

මා පෙම් බැඳි ගුරුතුමිය

ජීවිතයේ නොයෙකුත් අය නොයෙකුත් දේ ලබාගැනීමට වාසනාවන්ත වෙති. නමුත් ජීවිතයම අරුත්ගන්වන පොතක් කියවන්නට හෝ ටෙලිනාට්‍යයක් බලන්නට යමෙක් වාසනාවන්ත වුවා යැයි කිවහොත් තවත් කෙනෙකුට එය සිනහගන්වන දෙයක් වුවද ඒ ගැන පුදුම වියයුතු නැත. නමුත් අද මම කියන්නට සැරසෙන්නේ එවැනි පොතක් සහ ටෙලිනාට්‍යයක් ගැනයි. මීට වසරකට පමණ පෙර ස්වර්ණවාහිනී නාලිකාවේ තක්සලාව නමින් ටෙලිනාට්‍යයක් විකාශණය විය. ඉතා සංවේදී මාතෘකාවක් මත පදනම්ව තිබු මෙම ටෙලිනාට්‍යය මාගේ මතකයේ තදින්ම තැන්පත් වීමට සහ ඒ වෙත මෙතරම් හිත ඇදී යාමට මුලික හේතුව වුයේ මගේ යටිසිතේ බොහෝ කලක සිට ආදරය කල මාතෘකාවක් ඔස්සේ මෙම නිර්මාණය පදනම් වීම විය හැක. මෙම නිර්මාණය ඉතා දුෂ්කර ගමක අධ්‍යාපන ලැබීමට තරම් වාසනාවන්ත නොවූ දරුවන්, අධ්‍යාපනයේ වටිනාකමක් නොදත් අනුවණ දෙමාපියන් පෙලක් සහ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ධෛර්යයමත් වූත් ඉතා කරුණාවන්ත වූත් සෙනෙහෙවන්ත වූත් ගුරුතුමියක් වටා ගෙතුණු නාට්‍යයකි. මගේ මනසේද කුඩාකාලයේ සිටම මෙවැනි ගුරුවරයෙකු වීමේ කැමැත්තක් තදින්ම පැවතිනි. ඇතැම්විට ඒ මාද එවන් වූ ගමකින් පැමිනියෙකු වූ නිසාවෙන් වන්නට ඇත. කොහේ හෝ දුප්පත් ගමක අසරණ ළමයින් හට මට හැකි තරමින් හොඳ අධ්‍යාපනයක් ලබාදීමට හැකිනම් අදටත් එය මාගේ ජීවිතයේ ලැබූ විශාලතම සතුටක් විය හැක. මන්දයත් බොහෝ මිනිසුන් පිලිගන්නට අකමති වුවද, සිතට අවන්කව සිතාබැලූ කල ජීවිතයේ සතුට රැඳී ඇත්තේ මෙවන් සියුම් තැන්වලය. කෙසේ වෙතත් මේ මාතෘකාව පිලිබඳව ඉතා සියුම් ලෙස කතාකල මෙම නිර්මාණය මාගේ සිත තුල සදා නොමියෙන ලෙස සටහන් වී ඇත. පහත ඇත්තේ මෙම නිර්මාණ්යෙහි ඉතා සුළු කොටසක වීඩියෝ පටයකි.


මේ හා සමකාලීනව ඉතා අනර්ඝ පොතක් කියවන්නට මට අවස්ථාවක් උදාවුනි. ඒ ඔබ කවුරුත් හොඳින් අසාඇති ගුරුගීතය නවකතාවයි. චින්ගීස් ආයිත්මොව් නම් ලේඛකයා රචනා කල මෙම ග්‍රන්ථයේ ඇත්තේ තක්සලාවෙහි වූ කතාවට ඉතා සමීප කතාවකි. මෙය කියවන්නට කැමති ඕනෑම අයෙකුට මෙතනින් එම ග්‍රන්තය බාගත හැක.



මම හිතන විදියට මේ කතාව සියලු දෙනා කියවිය යුතු කතාවකි. මෙහි එන දුයිෂෙන්(ගුරුතුමා) සහ අල්තිනායි(සිසුවිය) වටා ගෙතුනු අපූර්වතම කතාන්දරයක් මෙහි අන්තර්ගත වී ඇත. අල්තිනායි ජීවත් වෙන්නේ ඉතාම දුෂ්කර ගමකය. නමුත් දුයිෂෙන් ඒ ගම්මානයට ඇවිත් පාසලක් ආරම්භ කලායින් පසුව ඇයගේ ජීවිතය වෙනස් වන අන්දම ඉතාම පුදුම සහගතයි. ඇතැම් අවස්ථා වලදී ගුරුතුමා තම සිසුවියගේ ජීවිතය යහපත් කරණු පිණිස තම ජීවිතයම කැපකරන අකාරය ඉතා සංවේදීයි. ගුරුවරයාගේ සිසුන් කෙරේ තිබුනු ආදරය අපරිමේයයි.

එහෙත් අල්තිනායි ගුරුවරයාට රහසින්ම පෙම් කලේය. ඇය ඔහුගෙන් සමුගෙන ඈත නගරයක අධ්‍යාපන සඳහා ගියපසු ඇය ඔහුට ඒ බව ලිපියකින් පවා කීවේය. එහෙත් ගුරුතුමා ඒ දිනයෙන් පසු ඇය සමග පැවති සියලු ගනුදෙනු නවතා දැමීය. මෙය කියවූ පසු බොහෝ අයගේ සිත් තුල අල්තිනායි ගැන වැරදි ආකල්පයක් ඇතිවීම සරල දෙයකි. ඒත් එය පුදුම වන්නට දෙයක් නොවෙයි. මම දකින විදියට ඇයගේ සිතේ එවැනි ආදරයක් ඇතිවීම සියයට සියයක් සාධාරණයි. නමුත් මට සිතෙන්නේ දුයිෂෙන් ඇයට ආදරය කලා. ඇයගේ අනාගත යහපත වෙනුවෙන් ඇයව අමතක කලා. එයයි සැබෑම ආදරය. ගුරුවරයා දෙවිවරයෙකු වූ විට සිසුන් ඔහුට හෝ ඇයට කොයි අයුරින් ආදරය කලද එය ඉතා සාදාරණයි යැයි කිවහැකි නේද?

මේ කතාව කියවූ පසු මගේ ජීවිතයේ මෙවැනිම සිද්ධියක් මගේ සිහියට නැගුනි. ඒ තක්සලාව ටෙලිනාට්‍යයේ සිටි ගුරුවරිය ගැනයි. මම ඇයට පෙම් කලේද යැයි යමෙකු ඇසුවහොත්, එයට නැහැ යන පිලිතුර දීමට මම අපොහොසත් වන බව මට විශ්වාසය. එහෙත් ඒ ආදරය සිසුවෙකු ගුරුතුමියකට දක්වන ආදරයක උපරිම අවස්ථාව විය යුතුය. ඇත්තෙන්ම මා මගේ ජීවිතයේ දුටු පූජනීයම ගුරුතුමිය ඇයයි. මා කිසිදින එම චරිතය රඟපෑ නිලියට පෙම් නොකලෙමි. මා පෙම් කලේ ඒ අවංක චරිතයටය. ඒ කරුණාවන්ත හදවතටය. ඒ මා ඉතා ඇලුම් කල බොහෝ ගුණ ගුරුවරියක් වූ ඈ තුල තිබූ නිසා වන්නට ඇත. මා කුඩාකල සිට වීමට කැමැත්තෙන් සිටි චරිතය ඈ තුලින් දිටු නිසා වන්නට ඇත. එහෙත් ඇය මේ ලොව පවතින චරිතයක් නොවීම මට ඉතා කණගාටුදායක විය. එතරම් කරුණාවන්ත වූත්, එතරම් අවංක වූත් ඒ චරිතයට(නිළියට නොව) මා ආදරය කිරීම ගැන මම පුදුම නොවෙමි. මන්දයත් ඒ මා කලින් කී පරිදිම මම මා තුලින් දැකීමට ඉතා ඇලුම් කල චරිතය ඈ තුලින් මම දුටු නිසා වන්නට ඇත.


තක්සලාවේ ගුරුතුමිය හෝ දුයිෂෙන් කිසිදා යලි නොම බිහිවන පූජනීය ගුරුවරුන් වුවද එවන්නවුන් සිටවූ පොප්ලර් ගස් අදටද සුලඟේ ලෙලදෙමින්, සැමගේ ජීවිත සිසිල් කරමින් සදාකල්ම පවතිනු ඇත.

ජීවිතය සුන්දරයි



මම කලින් ලිපියේ ලිව්වා මීමන ප්‍රේමතිලකයන් ගැන. සුනිල් මාධව ප්‍රේමතිලක කියන්නේ මීමන ප්‍රේමතිලකයන්ගේ පුතෙක්. ඔහු පුවත්පත් කලාවේදියෙක්. ඔහු ජීවිතය සුන්දරයි කියන ලිපි පෙලින් ලියපු එක ලිපියක් මගේ හිත ගිය තැන් වල තියෙනවා.බොහෝ කාලයකට ඉහතදී කියවපු ලිපියක්. ඒ ලිපිය කොයි තරම් හිතට වැදුනද කියනවා නම්, මම ඒ ලිපිය කපලා අරන් තිබ්බා. ලඟදි දවසක මට අහම්බෙන් ඒ ලිපිය කියවන්න ලැබුනා පොතක් ඇතුලෙ තිබිලා. ඒ ලිපිය ඔයාලටත් කියවන්න blog එකේ ලියන්න මට හිතුනා. මෙන්න ඒ ලිපිය.

සේපාල් අමරසිංහ නමැති තරුණ පුවත්පත් කලාවේදියා ලියන ලිපි බොහෝ කලක සිටම මම කියවන්නේ ඉතා ආසාවෙන්. ඔහු ලෝක සාහිත්‍යය ගැන හොද අවබෝධයක් තිබෙන පත්තරකාරයෙක් බව ඒ ලිපි කියවනවිට පැහැදිලි වෙනවා. ඔහු ලංකාදීප පුවත්පතේ විමංසා සාහිත්‍ය අතිරේකයට ලියූ ලිපියක් සහිත පිටුව මට ගෙනත් දුන්නේ තරංග.

"සුනිල් අයියා කැමති කෙනෙක් ගැන ලියූ ලිපියක්"

මම ඉතාම ගරු කරන සහ ආදරය කරන පුවත්පත් කලාවේදිනියක් වූ ඔරියානා ෆලච් සමග තවත් පුවත්පත් කලාවේදියෙක් කළ සාකච්ඡාවක්. ඔරියානා ගැන කෙටී විස්තරයකුත් සේපාල් ලියලා තියෙනවා. එම සාකච්ඡාවේ ඔරියානා ඉතාම වැදගත් ලෙස මම සලකන දෙයක් ලියලා තියෙනවා.

"අපට ආදරය කරන්න පූර්ණ අයිතියක් ඇතුවා මෙන්ම වෛර කරන්නද එවන් වූ අයිතියක් තිබෙනවා. මමද ආදරය කරනවා සේම වෛර කරනවා. එසේ කිරීමට ඇති ඉඩ මා සතු වූ අතිපූජනීය අයිතියක් ලෙසයි මා සලකන්නේ."

ඔරියානා කියාගෙන යන්නේ, ඇතැම් අයට ආදරය කරනවා සේම ඇතැම් අයට වෛර කරන බවයි. ඒ අදහසට සමාන අදහසක් මගේ හිතේ ද බොහෝ කලක සිට තැම්පත්ව තිබෙනවා.


මම හැමදාමත් කිව්වේ වෛර කරන්න පුලුවන් කාට හෝ ආදරය කරන කෙනෙක්ට පමණයි කියල. බොහෝවිට මම උදාහරණයක් ලෙස ගන්නේ කෲර පාලකයෙක්ට වෛර කරන්න පුලුවන් වන්නේ ජනතාවට ආදරය කරන කෙනෙකුට පමණයි කියලා. කුපාඩියෙකිට වෛර කරන්නේ හැදිච්චකමට ආදරය කරන කෙනෙක්. ඒකාදිපතිවාදයට වෛර කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කෙනෙක්.

ඔරියානාගේ අදහස හඬනගා කියවීමෙන් පසු මම මගේ අදහස් කීවේ එහි පැමිණි 'කලුදොදොල් රංජිත්' සමගයි. වෛරය සහ ප්‍රේමය ගැන මා කියවූ පොත්වල සඳහන්ව ඇති දේවල් ද මම ඔවුන්ට පහදා දුන්නා.


කොනිංග්ස්බ‍ර්ගර්ගේ "මරණය සහ ප්‍රේමය සමග ගමනක්" යන පොතේ මෙහෙම තියෙනවා. "මම ඇයට ප්‍රේම කරනවා. ඒත් උඹ ඇගේ ජීවිතය කාලකන්නි කරන්න උත්සහ ගන්නවා. ඒ නිසා මම නුඹට වෛර කරනවා. ඒ වෛරය නිසා මම උඹව මරණවා". එහෙම කියලා පිහියෙන් ඇනලා සතුරා මරණවා.


කොබෝ අබේ කියන ජපන් ලේඛකයාගේ කෙටිකතාවකත් ඒ වගේ දෙයක් තියෙනවා. "උඹ ප්‍රේමය කුමක්ද කියල දන්නෙ නැහැ. ඒත් මම දන්නවා. ප්‍රේමය දන්නා නිසා මම උඹට වෛර කරනවා. උඹ වගේ එකෙකුට මේ වගේ මරණයක් හොඳ වැඩියි". අන්තිම වචනය කියනවාත් සමගම කඩුවෙන් අනිනවා.

මම මගේ මිත්‍රයින්ට දින දෙකකට පෙරදී මගේ පුතා කී කතාවක් කිව්වා. පුතා හිනාවෙවී ඉස්කෝලෙ වෙන දේවල් කියනවා. ටිකක් වෙලා කතා නැතිව සිටි පුතා මෙහෙම කිව්වා.


"මම තාත්තෙ ඉස්කෝලෙදි වැඩිය දඟලන්නෙ නැහැ. අද මට එකෙක් බැන්නා. මම මොකද කියල අත දිග ඇරිය ගහන්න වගේ. ගැහුවොත් ගහන්න මම ලැහැස්තිවෙලයි හිටියෙ".

මම පුතාට මෙහෙම කිව්වා. උඹල හිතයි පුංචි දරුවෙකුට එහෙම කියන්න හොඳ නැහැ කියලා. ඒත් මම කිව්වා. "පුතේ බැන්නොත් බනින්න. ගැහුවොත් පළවෙනි පාර වලක්වාගන්න. දෙවැනි පාර‍ ගහන්න ඉස්සෙල්ල ගහන්න". පුතා හිනාවුනා.


බෲස්ලිගෙ ජීවිත කතාවෙ ඒ වගේ දෙයක් තියෙනවා. "මැරයන්ට බයේ ජීවත් වෙලා වැඩක් නැහැ. ඒත් මට හිංසා කරන්න එනකල් බලන් ඉඳල වැඩකුත් නැහැ. කමක් නැහැ ගහන්න අවොත් විතරක් ගහනවා".

තරංග ටික වෙලාවක් මගේ මූහුණ දෙස බලාගෙන හිටියා. "සුනිල් අයියා වැඩියෙන්ම වෛර කරන්නෙ කාටද? ".


"මම තාමත් මාක්ස්වාදියෙක්. දුප්පතා සූරාගෙන කන සතුරාට මම වෛර කරනවා. එහෙම වෙන්නෙ මම දුප්පතාට ආදරය කරන නිසයි. මගේ අනෙක් සතුරා කුපාඩියා. එහෙම වෙන්නේ මම සදාචාරයට ආදරය කරන නිසයි".

Tuesday, July 10, 2012

සියල්ල සේ ඇයත් විකිණී ඇත.

මේකෙ topic එක බලලා වැරදියට තෙරුම්ගන්න නම් එපා. ඇය කියල මම අදහස් කරල තියෙන්නෙ මගේ පාසල. මොකද අපි හැමදාම අපේ පාසලට කිව්වෙ විදු මාතාව කියලනෙ. ඒ නිසයි ඇය කියන වචනය පාවිච්චි කලේ. කොහොම උනත් මේ ලිපිය ලියන්න හිතුනේ පහුගිය දවස් වල අහපු දැකපු දෙවල් වලින් හිතට දුකක් දැනුණ නිසයි. පහුගිය සතියෙ අපිට නිවාඩුවක් ලැබුනා. කොටින්ම කියනවා නම් අපිට ගිය සතියෙ Reading Week. ඉතින් ගෙවල් පැත්තෙ යන්න හිතුනා. ගිහින් ඉන්නකොට පර‍ණ ගුරුවරු ටික බලලා එන්න ඉස්කෝලෙ පැත්තෙ ගියා. :)))
 
 ඉතිං ඔහොම ඉස්කෝලෙ යනකොට දැකපු දෙවල් ගැන තමයි මේ ලියන්නේ. අපේ ඉස්කෝලෙ හරියට වෙනස් වෙලා. හැමෝම දකින විදියට කියනවා නම් ගොඩක් දියුණු වෙලා කියන්න පුලුවන්. ඒත් ඒ දෙයට දියුණු වෙලා කියල කියන්න මම නම් දෙපාරක් හිතනවා. ඉස්සර ඉස්කෝලෙට ඇතුල්වෙන්න තිබ්බ ගුරුපාර දැන් කොන්ක්‍රීට් වෙලා. ඉස්කෝලෙ ඇතුලෙ පාරවල් වලටත් තාර දාලා. ඉස්කෝලෙ වටේටම තාප්පයක් දාලා. මේ දේවල නරකයි කියලා මම කියන්නෙ නැහැ. ඒත් ඒ එක්කම තව ගොඩක් දේවල් වෙනස් වෙලා. ඉස්සර තණකොල වැවිල කොල පාටට තිබ්බ සමහර තැන් දැන් වේලිලා ගිහින්. ගස් එහෙමත් අඩුවෙලා. මුලු ඉස්කෝලෙ පුරාම හරිම පාළු ගතියක් තමයි තිබ්බෙ. පන්තිකාමර වලත් දැන් ගාල තියෙන්නෙ වෙනස් පාටක්. කොටින්ම කියනවා නම් ඉස්කෝලෙ තිබ්බ සුන්දරත්වය දැන් නැහැ. ඒ කාලෙ මොන අඩුපාඩුකම් තිබුනත් ඉගෙනගන්න පුලුවන් හොඳ සුන්දර පරිසරයක් තිබුනා. ඒ කාලෙ යාලුවො එක්ක දාංගලේට නටපු නැටුම් මතක් වෙද්දි හරිම දුක හිතුනා. ළමයි උනත් ඒ වගේ ගතියක් පේන්න තිබුනෙ නැහැ.


මේ දේවල බැලූ බැල්මට වෙනස් වෙලා දකින්න පුලුවන් උනත් වැදගත්ම කතාව අහන්න ලැබුනේ මගේ පරණ ගුරුතුමියකගෙන්. ඇය කියපු විදියට නම් දැන් ඉස්කෝලෙ දෙකට බෙදිලා. නායකත්වයට හිතවාදී සහ විරුද්ධවාදි විදියට. අහන්න ලැබුණු විදියට අන්තෝ ජටා බහි ජටා තමයි. ඇතුලත් ගැට පිටත් ගැට. දුකම හිතෙන කතාව තමයි දේශපාලනය ඉස්කෝලෙ ඇතුලට රිංගලා කියන එක. ඕක තැනකට රිංගුවොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ආරංචි විදියට නම් දේශපාලනයෙන් ඉස්කෝලෙ වටකරගෙනයි තියෙන්නෙ.


 ඔන්න ඉතින් ඊට පස්සෙ එදාම හවස තිබ්බ ඉස්කෝලෙ මල්ලිලා කට්ටියකට වෙස් තියපු මංගල්‍යය නිමිත්තෙන් පවත්වන කල එලි දැක්ම කියන උත්සවය. මමත් තව යාලුවො ටිකක් එක්ක ගියා ඕක බලලා එන්න. හරි පුදුමයි. වෙනදා මේ වගේ වැඩකදි ප්‍රධාන අමුත්තා වෙන්නෙ රටේ පිලිගත් කලාකරුවෙක්. ඒත් මේ උත්සවයේ ප්‍රධාන අමුත්තා නම් දේශපලඥයෙක්. ඒ මදිවට ඉස්සර වගේ නෙමෙයි දැන් සභාව මෙහෙයවන්නේ ගුරුවරු. නැටුම් වලට සහය ගායනය නැටුම් ගුරුතුමිය. ළමයි හිටියෙ බලාගෙන ඉන්නයි. වෙලා තියෙන්නේ මොකක්ද කියන්න නම් මට හරියටම තේරෙන්නෙ නැහැ. ඒත් මොකක් හරි වෙලා තියෙනව කියන එක නම් පැහැදිලියි. මට නම් මේක එක වචනෙකින් කියන්න පුලුවන්. ඒත් ඒක කොයිතරම් සාධාරණද කියන්න මම දන්නෙ නැහැ. මම නම් මේකට කියන්නෙ දේශපාලනීකරණය කියලයි. ඒත් මගේ විදුමාතාව කලින් වගේම සුන්දර පාසලක් වෙනවා නම් මම ගොඩක් කැමතියි. ඒත් අර මම මුලින්ම කිව්ව වගේ "සියල්ල සේ ඇයත් විකිණී ඇත".

Friday, March 16, 2012

බුදු දහම...

කාලෙකින් ලිපියක් ලියන්නත් බැරිවුන නිසා හිතුවා ඇවිත් කවි පන්තියක් දාන්න ඔනි කියලා. මේක මම මීට ටික දවසකට කලින් ලියපු කවි පන්තියක් උනත්, මේක බ්ලොග් එකේ පල කරන්නම ඕනි කියල හිතුන නිසා ඔන්න මම ඒ කවි පන්තිය දැම්මා.


නියඟෙට ඉරිතලා වියලුණු වෙල.......මැද්දේ
ගලවා ඉසිමි තුත්තිරි ඇමිනුණු..........රෙද්දේ
සිතිවිලි අතර මේ සිත දෙපසට..........පැද්දේ
ඇසුනද මගේ හදවත ගැස්සෙන.........සද්දේ

අකලට දිරා ගියමුත් තනි අග.............අත්තේ
තාමත් පල දරයි රස ඵල එහි............ඇත්තේ
කඩාගන්න ඇයි අප අත් දිග............නැත්තේ
යන්නෙමි ගිලෙමි දහම් අමා ගඟ.......මත්තේ

පැලඳූ නමුදු සිඟන්නාට ඔටුණු................සදා
හිඟමන් යදියි යලි රජාගෙ හිසත්.............සිඳා
අසා සොඳින් සිහි නොම කෙරුවත්........පසුදා
මිනිසුනි මෙයයි ධර්මය නොනැසෙන...කිසිදා


Wednesday, February 29, 2012

මගේ සඳ නුඹ...

නිශා නුබ ගැබ පහන් කරවන
සිසිල දනවයි මගේ සඳ නුඹ...
දොවා කිරි කල සතක් එකවර
නහවමී නුඹ උනුහුමින් මම...

නෙලා පියුමන් සුපිපි විල්තල
වලාකුලු ඉර ඉරා ගගනත
අහස අඹරා තිරකඩක් ලෙස
දල්වමී මේ පහන් නුඹ ලඟ...

නුඹේ සුසුමන් මේ හමා එන
සුගන්ධය බුදුනට පුදන්නට...
නිමා නොමවන සෙනේ නිම් ගඟ
සීත ගඟුලක සිසිලසයි මට...

Friday, February 10, 2012

මීමන ප්‍රේමතිලක

මේ ලිපිය ලියන්නේ මගේ තවත් එක් හිත ගිය තැනක් ගැනයි. මීමන ප්‍රේමතිලක කියන්නේ කොළඹ යුගයෙ සිටි හොඳම කවියන්ගෙන් කෙනෙක්. නමුත් මොහු තුල අනික් කවියන්ගේ නොදුටු විශේෂත්වයක් පවතිනවා. ඒ මොකක්ද කියන්න නම් මට හරියටම තේරුමක් නැහැ. ඒත් ඔහුගේ කවියක් කියවූ විට හිතට දැනෙන සිතුවිලි හරිම වෙනස්. ඇත්තෙන්න්ම හරි සුන්දරයි. කෙටියෙන් කියනවා නම් මීමන ප්‍රේමතිලක කියන්නේ කවිත්වය තම රුධිරයට මිශ්‍ර උනු කවියෙක්. පහල තිබෙන්නේ ඔහුගේ ඡායාරූපයක්.



මොහු අතින් රචිත පොත් අතරින් නිල් දියේ නලඟන, අශෝකමාලා, නොනැසෙන සුන්දරී, ජීවන ගංගා, කුමුදුමතී, පාළුගම, සොහොන් බිම වගේ පොත් ඉතාම හදවතට සමීප කරගන්න පුලුවන් පොත්. මමත් මේ හැම පොතම කියවලා නම් නැහැ. මේ පොත් වලත් සමහර කවි පන්ති විතරයි මම කියවලා තියෙන්නේ. හරිම සුන්දරයි.

මොහුගේ පුතුන් තිදෙනා අතරින් එක් පුතෙකු හදිස්සියෙ ජීවිතයෙන් සමුගන්නවා. ඔහු ඔහුට දැනුන හැඟීම මුදා හරින්නේ "මියගිය දරුවෙක්" නිර්මාණයෙන්. පහත තියෙන්නේ ඒ නිර්මාණයෙන් උපුටාගත්තු කවියක්.

බුදුන් – දහම් - සඟුන් ළඟින් රැකු නිරන්තරින්
පියම්බිකාවගෙයි මගෙයි දයා බැලුම් ලැබූ
සුනිල් - සරත් - සමන් කියා රුවන් තුනක් තිබේ
එයින් එකක් ගියා අහෝ කොහේ ද ඒ ගියේ

ඒ වගේම ඔහු අතින් රචිත "ගඟ සහ අතු ගංගා" කියන නිර්මාණයේ එන කවියක් තමයි පහත තියෙන්නේ.

මා එන ගමනෙ දියවැල්වල වෙලුනු බසුත්
ඒ බස්වලින් හඬ නැංවුණු කිකිණි රසුත්
එහෙමම තිබෙද්දී නැතිවත් කිසිම ඔසුත්
අතුගං ගලයි මා මුහුදට වැටුණු පසුත්

මේ කවියා ඉහත කවියෙදි පද අවසන් කරලා තියෙන්නේ 'ත්' අකුරින්. සාමාන්‍යයෙන් එම අකුරෙන් අවසන් වෙන කවි ඉතා දුලබයි කියලයි කියන්නේ. ඇත්තෙන්ම මේ කවියා මගේ හිත ගත්ත ප්‍රධානම හේතුව තමයි ඔහුගේ අතින් ලියවුන අන්තිම කවිය. මේ කවිය ලියපු කොලයත් අතේ තියාගෙනම ඔහු මියගියා කියලයි මම අහලා තියෙන්නේ. බලන්න මිය යන මොහෙතේ මේ වගේ කවියක් ලියන්න මේ කවියා කොයිතරම් දක්ෂ කවියෙක්ද කියලා.

රුදුරු මරුවා ඇවිත් මගේ ඇඳ ලඟ ගාටත්
ජීවිතයම අවිස්වාසයි අද රෑටත්
දැන්විය යුතුය සොඳුරියෙ මළගම කාටත්
මගෙ සොහොයුරාටත් දරුවන් තිදෙනාටත්

Saturday, January 21, 2012

...ගොලුවූ පන්හිඳ...

සැනසිල්ලට හසරැල්ලට යදම්...............අගුළුලා
සිතිවිල්ලට කඳුලැල්ලට අතර..............නැවතිලා
ඉමක්‌ නොමැති නිරුදක කතරකට.....තනිවෙලා
පියාබන්න නැහැ අත්තටු බිදී...............ගිලිහිලා

පියබන්නට දුන් අත්තටු රන් පැහැ...........මියුරූ
බිඳදා ගොස් යලි නොඑන්න රුදුරු........දිනිසුරූ
පියාබන්න අහසෙහි නුබ මට දුන්නු...........හුරූ
සිහිවනවිට කඳුලැලි වැල් හැලෙනා..........අයුරූ

සැනසිල්ලට ගගුලක් වූ නුබේ නෙත්...........යුග
කදුලැල්ලට උල්පත වී අද මගේ................ළඟ
සිතිවිලි යදමින් ගොළුවුන පන්හිඳ............තුඩග
වෙත යලි ඒවිද ලබැඳිය හැරදා.............නොමග

Thursday, January 19, 2012

මගේ Blog ඒක ගැන

ඇත්තටම මේ Blog ඒක ලියන්න හිතුනේ එදිනෙදා වැඩ කරද්දී හිතට වදින දේවල් කට්ටිය එක්ක බෙදාගන්නයි. ඉතින් කියන්න ඕන මේකට "කවියෙකුගේ අසිපත" වගේ නමක් දාන්න හිතුනේ මොකද කියලා.



අසිපත කියන්නේ ගොඩක් බලගතු දෙයක්. අයහපත් මිනිස්සු අසාධාරනයටත් යහපත් මිනිස්සු අනුන්ගේ යහපතටත් යොදාගන්න දෙයක්. අසාධාරණයට අයුක්තියට එරෙහිව ඔසවන්න තමයි ඇත්තටම කඩුව තියෙන්නේ. ඒත් ඉතින් මම කඩු හරඹ කාරයෙක් නම් නෙමෙයි. මට පුළුවන් ඉතින් ගණන් හදන්නයි, Computer එක්ක කරන ගනුදෙනුයි තමයි.



මට ඒ තරම් හොදට ලියන්න නම් බැහැ. නමුත් මම ලියන්න උත්සහ කරනවා. අර කතාවක් තියෙනවානේ හඳට ගල් ගහන්න උත්සහ කලොත් කවදා හරි ගලක් පොල් ගෙඩියක හරි වැදිලා ඒක බිමට වැටිලා කුසගින්න නිවාගන්න පුළුවන් වෙයි කියලා :-P. ලියන්න උත්සහ කරන මට තියෙන එකම අවිය තමයි පෑන. පෑන කිව්වට ඉතින් අපි දැන් පෑනෙන් ලියන්නෙත් නැහැ නේ..?? කොහොම උනත් ලියන්න උත්සහ කරන කෙනෙක්ට ලැබෙන අසිපත තමයි පෑන කියන්නේ. ඒ නිසයි මම මේ වගේ නමක් තෝරාගත්තේ.



මම දකින විදියට මේ සමාජයේ තියෙන අඩුපාඩු ගොඩක් සියුම් විදියට කාගේවත් හිත නොරිදෙන විදියට ලියන්න මම බලාපොරොත්තු වෙනවා. හැබැයි මම ලියන දේවල් වලට එකඟ නොවෙන පිරිස් ඉන්න පුළුවන්. එන්න අපි ඒ ගැන කතා කරමු. හැබැයි මේකේ මම මගේ හිතට එන ගොඩක් ගොඩක් දේවල් ලියනවා. මේ දේවල් කියවන අයගෙන් ඉල්ලන්න දෙයක් තියෙනවා. ඒ තමයි කියවන post  ඒක ගැන ඔයාලට හිතෙන දේ පොඩි වෙලාවක් අරගෙන ලියලා යන්න.